Skip to main content

බැංඩුං සමුලුවෙන් දශක හතකට පසුව



1955 දී ඉන්දුනීසියාවේ බැංඩුං නුවර පවත්වන ලද ඓතිහාසික අප්‍රිකානු-ආසියානු සමුලුවේ හැත්තෑ වන සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. ආසියානු හා අප්‍රිකානු මහාද්වීපවල රටවල් විසි නමයක් නියෝජනය කරමින් බැංඩුං සමුලුවට නියෝජිතයන් සහභාගි වූ අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙක් යටත් විජිත පාලනයෙන් අලුත නිදහස් වූ නව ස්වාධීන රටවල්වල අය වූහ.

යටත්විජිතවාදයෙන් බැට කෑ ජාතින් අතර පුලුල් සමගියක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙම සමුලුව තුල නියෝජිතයන්ගේ අවධානයට ලක්විය. යටත් විජිතවාදයට ගොදුරු වීමේ පොදු ඉතිහාසයක් තිබෙන රටවල්, තමුන්ගේ සාමූහික අභිලාෂයන් මුදුන්පත් කරගනු උදෙසා අන්‍යොන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට කියැවෙන අන්තර්-දක්ෂිණ සහයෝගීතාවය (south-south cooperation) පිලිබඳ අදහසේ සම්භවය ඓතිහාසික බැංඩුං සමුලුව දක්වා දිවයයි.

ශ්‍රී ලංකාව ද බැංඩුං සමුලුවට සහභාගී විය. 1961 දී පිහිටුවන ලද නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය, බැංඩුං සමුලුවේ දී අවධාරණයට ලක් වූ තුන්වන ලෝකයේ රටවල් අතර සහයෝගීතාවය පිලිබඳ අදහස තවත් ඉදිරියට ගෙන ගියේය. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන 1960-1970 ගණන්වල ශ්‍රී ලංකාව එම ව්‍යාපාරයේ සක්‍රීය වැඩ කොටසක් ඉටු කල අතර, 1976 දී පැවැති පස්වන නොබැඳි ජාතීන්ගේ සම්මේලනයේ සත්කාරකත්වය ද දැරීය.

කෙසේ වුවත්, 1980 ගණන්වල, බැංඩුං සමුලුවේ ආනුභාවයෙන් සක්‍රීය වූ තුන්වන ලෝක ව්‍යාපෘතිය ගෝලීය නව ලිබරල්වාදයේ නැගීම සමග ඓතිහාසික ලෙස අර්බුදයට යයි. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ මිත්‍ර පාර්ශවයක් වූ සෝවියට් සංගමය 1990 දී බිඳ වැටීමත් සමග ගෝලීය නව ලිබරල්වාදය තවත් ශක්තිමත් වූ අතර මෙම තතු යටතේ එක්සත් ජනපදය විසින් නායකත්වය දෙන හෙජමොනික හවුලේ ආධිපත්‍යයට යටත් වීමට ගෝලීය දකුණේ රටවල් වෙත බලපෑම් කෙරුණි.

බැංඩුං යුගය

අන්තර්ජාතික තත්වය මෙලෙස වෙනස් වී තිබුණත්, බැංඩුං සම්මේලනය විසින් ඇති කළ ඓතිහාසික උරුමය පිලිබඳ අඛණ්ඩ උනන්දුවක් තවමත් පවතිනු දක්නට ලැබේ. බැංඩුං සමුලුව පවත්වන ලද්දේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ යටත්විජිතහරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික ප්‍රජාවේ සංයුතිය හරයාත්මක ලෙස වෙනස් වෙමින් පැවැති යුගයකය. බොහෝ ආසියාතික හා අප්‍රිකානු රටවල් යුරෝපීය අධිරාජ්‍යයන්ගෙන් නිදහස් වීමත් සමග, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් සංඛ්‍යාව 1946 සිට 1970 දක්වා වූ කාලය තුල 35 සිට 127 දක්වා වැඩි වීම තුල මෙම පරිවර්තනය පිලිබිඹු වේ.

යටත්විජිතහරණයේ ප්‍රතිඵල නිසා අලුත ස්වාධීන වූ රටවල් සමාන ස්වෛරීභාවයක් සහිතව අන්තර්ජාතික ප්‍රජාවේ සාමාජිකයන් බවට පත් වූවත්, මෙම සමානාත්මතාවය හුදු රූපික එකක් බව බොහෝ ඉක්මනින් පෙනී යන්නට විය. මේ වනවිට එක්සත් ජනපදයේ නායකත්වය යටතේ වෙනම බල හවුලක් ලෙස සංවිධානය වී සිටි පැරණි යටත් විජිත හිමි රටවල් අලුත නිදහස් වූ කුඩා ජාතීන් මත සිය බලපෑම දිගටම පවත්වාගෙන ගියහ. බොහෝ අවස්ථාවල, අලුත නිදහස් වූ රටවල නායකයන් යම් ප්‍රමාණයකට හෝ ස්වාධීන මාවතක් අනුගමනය කරන්ට උත්සාහ කලේ නම්, බටහිර රටවල අනුග්‍රහයෙන් දියත් වූ හමුදා කුමන්ත්‍රණ මගින් හෝ සෘජු ආක්‍රමණ මගින් එම නායකයන් බලයෙන් පහ කරන්ට කටයුතු යෙදුණි.

බැංඩුං සමුලුවේ ප්‍රධාන අවධානය යොමුවූයේ දේශපාලන ස්වයං නිර්ණ අයිතිය පිලිබඳ මූලධර්මය යලි අවධාරණය කිරීම සඳහාය. සම්මේලනයේ දී අනුමත වූ කරුණු දහයකින් යුක්ත ප්‍රකාශනය මූලික වශයෙන් ස්වෛරීභාවයේ සමානතාවය, අනෙක් රටවල කටයුතු වලට මැදිහත් නොවීම, බලය යෙදවීමෙන් වැලකී සිටීම හා සාමකාමී සහයෝගීතාවය බඳු වූ ඇගයුම් ප්‍රකාශමාන කලේය. මෙම ප්‍රකාශනය පසුපස වූ තාර්කිකය වූයේ තමුන් බලවත් ජාතීන් වෙතින් අසීරුවෙන් ලබාගත් නිදහස ආරක්ෂා කරගැනීම සඳහා තුන්වන ලෝකයේ රටවල් සහයෝගීතාවයේ ජීව ගුණයෙන් යුක්තව එකිනෙකා සමග කටයුතු කල යුතු බවයි. (උත්ප්‍රාසාත්මක ලෙස, බැංඩුං සමුලුව කැඳවීමට පුරෝගාමී වූ ඉන්දුනීසියාවේ ජනාධිපති සුකර්නෝ 1965 දී බටහිර රටවල සහයෝගය ලද හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කෙරුණි ; ජෙනරාල් සුහර්තෝගේ ඒකාධිපති පාලනය ඒ වෙනුවට පිහිටුවන ලදී).

දේශපාලනයේ සිට ආර්ථිකය වෙත

1961 වර්ෂයේ දී නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය ස්ථාපිත කරන ලද්දේ බැංඩුං සමුලුවේ දී තහවුරු කළ පදනම මතය. යුගොස්ලෝවියාවේ බෙල්ග්‍රේඩ් නුවර කැඳවූ පලමු නොබැඳි ජාතීන්ගේ සමුලුව බටහිර හවුල සහ සෝවියට් කඳවුර යන දෙකටම ස්වාධීන වූ නව හවුලක් පිහිටුවන ලදී. තුන්වන ලෝකයේ පුලුල් සන්ධානයක විය හැකියාව සංඥා කරමින්, මේ නව වේදිකාව සඳහා ලතින් ඇමරිකානු රටවල් කීපයක් ද සහභාගි විය.

නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය තුල ක්‍රියාකාරී වූ බොහෝ ස්වාධීන මනසැති තුන්වන ලෝකයේ නායකයන්ගේ අදහස වූයේ රූපික දේශපාලන නිදහස සහ සැබෑ, හරයාත්මක ස්වාධීනතාවය අතර වෙනසක් තිබෙන බවයි. රූපික වශයෙන් නිදහස් වුවත්, අලුත නිදහස් වූ ජාතීන් බොහොමයක් ආර්ථික සබඳතා අතින් පැරණි යටත් විජිත ස්වාමිවරු මත යැපෙමින් සිටියහ. ශතවර්ෂ ගණනාවක් පුරාවට ක්‍රියාත්මක වූ යටත්විජිත සූරාකෑමේ මාදිලීන් විසින් ගැඹුරු ලෙස තහවුරු කරන ලද විකෘති සහගත විෂමතාවයන්ගෙන් ලෝක ආර්ථිකය සමන්විත විය. තෙවන ලොව රටවල ආර්ථිකයන් ප්‍රධාන වශයෙන් බටහිර කාර්මික ආර්ථිකයන් වෙත ප්‍රාථමික භාණ්ඩ හා අමුද්‍රව්‍ය අපනයනය කරන ඌණ සංවර්ධිත රටවල් ලෙස පැවැතිණ. මෙම තත්වය පැහැදිලි කරමින්, ඝානාවේ හිටපු ජනාධිපති ක්වාමේ න්කෘෘමා සිය ‘නව-යටත්විජිතවාදය යනු අධිරාජ්‍යවාදයේ අවසාන අවධියයිනම් සුප්‍රකට කෘතියේ මෙසේ ලියයි :

‘[…] තරුණ රටවල් තවමත් අමුද්‍රව්‍ය සම්පාදකයන් පමණක් වෙති, පැරණි රටවල් කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරති. නව ස්වාධීන රටවල් හා පැරණි යටත් විජිත හිමි රටවල් අතර ආර්ථික සබඳතාවය වෙනස් වී ඇත්තේ හුරු රූපයෙන් පමණි. යටත්විජිතවාදය නව පෙනුමක් ගෙන ඇත. එය නව යටත් විජිතවාදය බවට පත්ව තිබෙන අතර මෙය අධිරාජ්‍යවාදයේ අවසාන අවධියයි.

අන්තර්ජාතික ආර්ථික ව්‍යුහයේ මූලධාර්මික වෙනසක් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය ඉල්ලා සිටියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කළ නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් පිලිබඳ ප්‍රකාශනය (1974) සහ රාජ්‍යයන්ගේ ආර්ථික අයිතිවාසිකම් හා යුතුකම් පිලිබඳ ප්‍රඥප්තිය (1974) ආදී වූ ලේඛන මගින් අන්තර්ජාතික ආර්ථිකයේ සැකැස්ම පැරණි යටත් විජිත හිමි රටවල්වල වාසියට සකස් වී තිබෙන ආකාරය අවධාරණය කෙරුණි.

නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් සඳහා කැඳවුම් කිරීම තුලින් යටත්විජිතහරණය වූ රටවල් අන්තර්ජාතික ආර්ථික පද්ධතියේ ගැඹුරු ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටියහ. තුන්වන ලෝකයේ ජාතීන්ගේ සංවර්ධන අවශ්‍යතාවලට ගැලපෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, ඌණ සංවර්ධිත රටවල කාර්මිකකරණ ක්‍රියාවලියට සහයෝගය ලැබෙන ආකාරයට මූල්‍ය හා තාක්ෂණික හුවාමරු ක්‍රම ඇති කිරීම සහ බහුජාතික සමාගම්වලට කටයුතු නියාමනය කිරීම ආදී වූ ඉල්ලීම් ඒ අතර විය.

මෙම අදහස් වලින් යම් ආකාරයක ප්‍රතිරෝධය පෑමේ මනෝභාවයක් නියෝජනය වූයේය. නව-යටත් විජිත අන්තර්ජාතික පර්යාය තුල මනා ලෙස පිලිගැනීමට ලක්ව තිබූ ඇතැම් මූලධාර්මික අදහස් පවා ඇතැම් නොබැඳි ජාතීන්ගේ නායකයන් අතින් ප්‍රශ්න කිරීමට ලක්විය. උදාහරණ ලෙස, ඉන්දීය අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි විදේශ ආයෝජන පිලිබඳ අදහස රැඩිකල් ලෙස වෙනස් අර්ථයක් ලැබෙන ලෙසට සංකල්පගත කළේ මෙලෙසය:

‘[…] විදේශ ආයෝජන සම්බන්ධව අලුත් ප්‍රවේශයක් ඇවැසිය. මේ තුල විදේශ රටවල කරන ආයෝජන හුදෙක් ලාභ සෙවීම සඳහා සහ කවර තත්වයක් යටතේ හෝ එම ලාභ යලි සිය රට ගෙන ඒම අරමුණු කරගත් ව්‍යවසායක් ලෙස නොව, අඩු වැඩි වශයෙන් සත්කාරක රටේ සේවය සඳහා වූ යමක් ලෙස සැලකිය යුතුය’.

නව අන්තර්ජාතික ආර්ථික පර්යායක් සඳහා වූ ව්‍යාපෘතිය විසින් බටහිර රටවල ආධිපත්‍යයට නතු වූ අන්තර්ජාතික පද්ධතිය ප්‍රශ්න කිරීමට ලක් වූ නිසා, බටහිර හවුලේ නායකයන් ඊට පසමිතුරු ලෙස ප්‍රතිචාර දැක්වූහ. නිදසුන් ලෙස, එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්ගේ උපදේශකයෙක් ලෙස කටයුතු කළ ඩැනියෙල් මොයිනිහාන් කියා සිටියේ ‘සංඛ්‍යාත්මක ලෙස වැඩි ගණනක් වූ තුන්වන ලෝකයේ රටවල් විසින් අධිකාරිය උසුලනනව ලෝක රටාවක් බිහිවෙමින් තිබෙන බවයි. 1981 වර්ෂයේ මෙක්සිකෝවේ කැන්කුන් නුවර පැවැති උතුරු-දකුණු සමුලුවේ දී එක්සත් ජනපදයේ හා බ්‍රිතාන්‍යයේ අලුත බලයට පත්ව සිටි සංරක්ෂණවාදී නායකයන් වූ රොනල්ඩ් රේගන් සහ මාග්‍රට් තැචර් පුලුල් ගෝලීය ප්‍රතිව්‍යාප්තිමය ව්‍යාපෘතියකට එරෙහිව තීරණාත්මක ලෙස අදහස් ප්‍රකාශ කළහ. තෙවන ලොව සංවර්ධනය සඳහා වූ එකම මාවත අන්තර්ජාතික වෙළදාම ලිබරල්කරණය පමණක් බව ඔවුන් පැවසූහ.

බැංඩුං : අද වගේ දවසක

රූපික නිදහසින් ඔබ්බට ගිය හරයාත්මක නිදහසක් සඳහා වූ අභිලාෂය හා ගෝලීය දකුණේ රටවල සහයෝගීතාවය යන ඇගයුම්වලින් බැංඩුං සමුලුවේ හා ඉන්පසු ඇති වූ නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ඓතිහාසික උරුමය සංයුක්ත වන බව කිව හැක. අප ලිපියේ මුල සඳහන් කළ ලෙස, බැංඩුං සමුලුව පැවැති යුගයට හා නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ස්වර්ණමය අවධියට වඩා භූ දේශපාලන තත්වය බොහෝ සේ වෙනස් වී ඇත. ප්‍රධාන පෙලේ නොබැඳි ජාතීන්ගේ රටවල පැවැති ජාතික-ජනතාවාදී ව්‍යාපාරවල පෙර වූ ආනුභාවය දුර්වල වී ගොස් ඇති අතර මේ ව්‍යාපාර බොහොමයක් බටහිර කඳවුරේ හෙජමොනික බලයට අවනත වූ තත්වයක් උද්ගතව තිබේ.

නිදසුන් ලෙස, අබ්දුල් ගමාල් නසාර්ගේ මරණයෙන් පසුව ඊජිප්තුව බටහිර කඳවුරේ හිතවත් රටක් බවට පරිවර්තනය විය. එක් යුගයක ප්‍රබල අධිරාජ්‍ය විරෝධී ගතිකයක් පෙන්නුම් කළ ඉන්දියාව තම ස්වරය හීලෑ කොට ගෙන ඇත ; මේ වනවිට එය ඇමරිකා එක්සත් ජනපදය සමග චීන විරෝධී ක්වොඩ් (QUAD) නම් වූ වේදිකාව පවා බෙදා හදා ගනී. අනෙක් අතට, බැංඩුං සමුලුව පැවැති කාලයේ ප්‍රබල මනෝභවයක් ලෙස පැවැති ගෝලීය දකුණේ රටවල් අතර සමගිය පිලිබඳ හැගීම විශාල වශයෙන් දුර්වල වී ගොස් ඇති බවක් පෙනී යයි.

එහෙත් බැංඩුං යන්න අවශ්‍යතාවයක් බවට පත්කළ ප්‍රශ්නය එනම් ගෝලීය උතුර සහ ගෝලීය දකුණ අතර තිබෙන අසමාන බල සම්බන්ධතාවය සහ මෙම අසමානතාවය නිසා ඇතිව තිබෙන දුර්විපාක තවමත් දැවෙන ප්‍රශ්නයක් ලෙස පවතී. ගෝලීය උතුරේ රටවල් වෙත වාසි ලැබෙන අසමාන වෙලඳ හා ආයෝජන සැකසුම්, බටහිර විසින් ගෝලීය මූල්‍ය පද්ධතියේ ආධිපත්‍යය ඉසිලීම සහ අන්තර්ජාතික මූල්‍ය ආයතන මත බටහිර රටවල් පවත්වාගෙන යන ග්‍රහණය ආදී වූ කරුණුවල ප්‍රතිඵල ලෙස අදටත් ගෝලීය දකුණේ සිට ගෝලීය උතුර වෙත විශාල ධනයක් සංක්‍රාන්ත වේ.

නිදසුන් ලෙස, ඔක්ස්ෆෑම් (OXFAM) ආයතනය විසින් මෑතක දී නිකුත් කළ වාර්තාවකට අනුව 2023 වර්ෂයේ පමණක් ගෝලීය උතුරේ රටවල ධනවත්ම සියයට එකක පිරිස ගෝලීය මූල්‍ය පද්ධතිය හරහා පැයකට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ධනයක් ගෝලීය දකුණේ රටවල් වෙතින් ඇද ගැනීමට සමත් වී ඇත. එම වාර්තාව තවදුරටත් දක්වන්නේ ගෝලීය ධනයේ සියයට 69 ක් පාලනය කරන්නේ ගෝලීය උතුරේ රටවල් බවයි.

ගෝලීය ආර්ථිකය තුල තිබෙන මිල ගණන්වල අසමානතාවය නිසා ඇති වන ‘අසමාන හුවමාරුවනම් ක්‍රියාවලියේ ප්‍රතිඵල ලෙස, ගෝලීය දකුණ දුගීකරණයට ලක්වන විට, ගෝලීය උතුර වඩ වඩාත් ධනවත් වේ. ගෝලීය උතුරේ රටවල සමාගම්වලට ලාභදායක ලෙස යෙදවුම් ලබාගත හැකි වන ලෙස ගෝලීය දකුණේ රටවල ශ්‍රමයේ මිල හා අනෙක් යෙදවුම් මිල පහත් මට්ටමක තබාගැන්ම සඳහා තෙරපුමක් ඇත. මේ නිසා යම් ආනයන ප්‍රමාණයක් ලබාගැනීමට නම්, වැඩියෙන් අපනයනය කිරීමට ගෝලීය දකුණේ රටවලට බල කෙරී තිබේ.

සූරාකෑමේ ආකාරයක් වන මෙම ක්‍රියාවලිය නිසා ගෝලීය දකුණේ රටවල් දුගීකරණයට ලක්වන අතර, වැඩි වැඩියෙන් විදේශ ණය මත යැපීමට ඔවුන්ට සිදු වේ. නිදසුන් ලෙස, ඔක්ස්ෆෑම් සංවිධානය දක්වන ආකාරයට, පහල හා පහල-මැදි ආදායම් ලබන රටවල් තම දේශීය අය වැයේ භාගයකටත් වැඩිය වෙන් කරන්නේ බටහිර රටවල පෞද්ගලික ණයහිමියන් වෙත ණය පොලී ගෙවීම සඳහාය. මෙම ක්‍රියාවලිය විසින් ගෝලීය දකුණේ රටවල් ඌණ සංවර්ධනයේ විෂම චක්‍රයක් තුල සිරගත කොට ඇත ; මක්නිසාද යත්, අධික ණය භාරය නිසා මේ රටවල නිෂ්පාදනීය ශක්‍යතාවය සීමා වන නිසාය.

නව භූ-දේශපාලනික වෙනස්කම්

මෙම අසමානතා විසඳීමට නම් ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකයේ ගැඹුරු වෙනස්කම් සිදුවීම අවශ්‍ය වේ. එවැනි ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය බලපෑම ඇති කිරීමට අදාල පූර්ව කොන්දේසියක් වන්නේ ගෝලීය දකුණේ රටවල සහයෝගීතාවයක් ඇති කරගැනීමයි. මේ නිසා බැංඩුං සමුලුවට පසුව සිදුව තිබෙන සියලු වෙනස්කම් තිබියදී, බැංඩුං ජීවගුණය යලි පණ ගැන්වීම, එනම් අන්තර්-දක්ෂිණ සහයෝගීතාවය පිලිබඳ අදහස ශක්තිමත් කිරීම වර්තමාන යුගය තුල ද අවශ්‍ය කර්තව්‍යයක් ලෙස පවතී.

සීතල යුද්ධය අවසාන වීමෙන් පසුව බොහෝ රටවල ජාතික නායකයන් ගෝලීය නව ලිබරල් සම්මුතිය අබියස හීලෑ වී තිබෙන නමුත්, වෙනස්කමක් සඳහා අවස්ථාව තිබෙන බවට ඉගි කෙරෙන යම් යම් වර්ධනයන් පසුගිය කාලය තුල ලෝකය තුල සිදුව තිබේ. මේ අතර වැදගත්ම සංසිද්ධිය වන්නේ චීනයේ නැගීමයි. චීනය සහ බටහිර හවුල අතර පසමිතුරුතාවය උග්‍ර වීමත් සමග චීනය දේශපාලන සන්ධානයක් අපේක්ෂාවෙන් ගෝලීය දකුණේ රටවල් වෙත යම් ආකාරයක හැරීමක් සිදුව ඇත.

අනෙක් අතට, යුක්‍රේන යුද්ධයත් සමග බටහිර හවුල සමග සිදු වූ තීරණාත්මක භේදයෙන් පසුව රුසියාව ද ‘ගෝලීය බහුතරයසමග සන්ධානයක් ඇති කරගැනීමේ අවශ්‍යතාවය ගැන විවෘතව කථා කරන්ට පටන් ගෙන තිබේ. ‘ගෝලීය දකුණයන වචනය වෙනුවට, රුසියානු ආණ්ඩුව යොදාගන්නා ගෝලීය බහුතරය යන යෙදුම දේශපාලනික බරක් සහිත එකකි. ගෝලීය දකුණ යනු ආර්ථික වශයෙන් තිබෙන පොදු ලක්ෂණ මත රටවල් වර්ගීකරණය සඳහා යොදාගන්නා පදයකි. මීට වෙනස්ව, ගෝලීය බහුතරය යන වචනය ලෝකය සුලුතරය හා බහුතරය ලෙස බෙදී තිබෙන බවත්, ලෝක ජනගහණයේ බහුතරය සුලුතරයක් වූ බටහිර රටවල අභිලාෂයන්ට එරෙහි පොදු අභිලාෂයක් නියෝජනය කරන බවත් හඟවයි. එනයින් එය දේශපාලනික පොදුභාවයක් පිලිබඳ අදහසක් මතු කරයි. 

ගෝලීය දකුණේ නැගී එමින් තිබෙන ආර්ථිකයන් අතර යම් සමෝධානයක් ඇති කිරීමේ අදහසින් ඇති කළ බ්‍රික්ස් (BRICS) හවුල තුල බටහිර කඳවුරේ ආධිපත්‍යයෙන් ඔබ්බට ගමන් කිරීමේ යම් විභවයක් අන්තර්ගත වේ. චීනය හා රුසියාව යන රටවල ද සහභාගීත්වයෙන් යුක්ත බ්‍රික්ස් හවුල මේ වනවිට ඇමරිකානු එක්සත් ජනපදය ගෝලීය මූල්‍ය පද්ධතිය තුළ පවත්වාගෙන යන අධිකාරිය බිඳ හෙලනු උදෙසා ඩොලරයට විකල්ප මුදල් ඒකක ශක්තිමත් කිරීමේ වැදගත්කම එනම් ඩොලර්හරණය (de-dollarization) පිලිබඳ සාකච්ඡා ආරම්භ කොට ඇත.

බටහිර හවුලේ ආධිපත්‍යයට එරෙහිව පැන නැගී තිබෙන මෙබඳු ගතිකයන් සමග බටහිර රටවල් මත පරායක්ත වීමෙන් මිදී, සාපේක්ෂව ස්වාධීන සංවර්ධන මාවතක් පාදා ගැනීම සඳහා යම් අවස්ථාවක් ගෝලීය දකුණේ රටවල් වෙත විවෘත කොට ඇත. මෙම අවස්ථාව ප්‍රයෝජනවත් ලෙස යොදාගැනීමට නම් ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාවය යලි පණ ගැන්වීම බෙහෙවින්ම තීරණාත්මක වේ.

(2025-06-08 අනිද්දා පුවත්පත)

Comments

Popular posts from this blog

වසර හැටක ජවිපෙ ගමන් මග : සන්නද්ධ අරගලයේ සිට ජනතාවාදය දක්වා

  රෝ හණ විජේවීර ප්‍රමුඛ ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වූ පිරිසක් මූලික වී, ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කොට මෙම මැයි මසට වසර හැටක් සම්පූර්ණ වේ. මෙම සංවත්සරය ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂීය. ඒ දශක ගණනාවක දුෂ්කර හා දීර්ඝ අභ්‍යාසයකින් අනතුරුව, මෙරට ආණ්ඩු බලය අල්වා ගෙන එම පක්ෂය විසින් සමරන පලමු පක්ෂ සංවත්සරය මෙය වීමයි. මෙරට ඉතිහාසයේ කිසිදු වාමවාදී පක්ෂයකට කළ නොහැකි වූ දෙය ; එනම් තනි ස්වාධීන බලවේගයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවීම ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ගොඩනගා තිබෙන ජාතික ජන බලවේගය විසින් සාක්ෂාත් කොට ගෙන තිබේ. පසුගිය දශක හයක ජවිපෙ ඉතිහාසය අපට ප්‍රධාන වශයෙන් යුග දෙකක් ඔස්සේ හඳුනාගත හැක. පලමු යුගය සමන්විත වන්නේ 1965 සිට 1990 දක්වා වූ අවධියෙනි. මෙම අවධිය තුල සන්නද්ධ අරගල දෙකකට ජවිපෙ නායකත්වය දුන් අතර, මෙම යුගය තුල ජවිපෙ ක්‍රියාත්මක වූයේ අන්තර්ජාතික වශයෙන් සෝවියට් සංගමය බලවත්ව පැවැති, සමාජවාදය පිලිබඳ අදහස ලෝක පරිමාණව ශක්තිමත් ලෙස තහවුරු වී තිබූ පසුබිමකය. දෙවන අවධිය 1990ට පසු යුගයයි. 1990ට පසුව යලි සංවිධානය වී, ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව වෙත පැමිණි අතර ඉන්පසුව ඊට දේශපාලනය කරන්ට ස...