රෝහණ විජේවීර ප්‍රමුඛ ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉවත් වූ පිරිසක් මූලික වී, ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කොට මෙම මැයි මසට වසර හැටක් සම්පූර්ණ වේ. මෙම සංවත්සරය ජනතා විමුක්ති පෙරමුණට සුවිශේෂීය. ඒ දශක ගණනාවක දුෂ්කර හා දීර්ඝ අභ්‍යාසයකින් අනතුරුව, මෙරට ආණ්ඩු බලය අල්වා ගෙන එම පක්ෂය විසින් සමරන පලමු පක්ෂ සංවත්සරය මෙය වීමයි. මෙරට ඉතිහාසයේ කිසිදු වාමවාදී පක්ෂයකට කළ නොහැකි වූ දෙය ; එනම් තනි ස්වාධීන බලවේගයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවීම ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ගොඩනගා තිබෙන ජාතික ජන බලවේගය විසින් සාක්ෂාත් කොට ගෙන තිබේ.
පසුගිය දශක හයක ජවිපෙ
ඉතිහාසය අපට ප්‍රධාන වශයෙන් යුග දෙකක් ඔස්සේ හඳුනාගත හැක. පලමු යුගය සමන්විත වන්නේ
1965 සිට 1990 දක්වා වූ අවධියෙනි. මෙම අවධිය තුල සන්නද්ධ අරගල දෙකකට ජවිපෙ
නායකත්වය දුන් අතර, මෙම යුගය තුල ජවිපෙ ක්‍රියාත්මක වූයේ අන්තර්ජාතික වශයෙන්
සෝවියට් සංගමය බලවත්ව පැවැති, සමාජවාදය පිලිබඳ අදහස ලෝක පරිමාණව ශක්තිමත් ලෙස
තහවුරු වී තිබූ පසුබිමකය. දෙවන අවධිය 1990ට පසු යුගයයි. 1990ට පසුව යලි සංවිධානය
වී, ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී ධාරාව වෙත පැමිණි අතර ඉන්පසුව ඊට දේශපාලනය කරන්ට සිදු
වූයේ ලෝක පරිමාණව සමාජවාදී කඳවුර බිඳ වැටුණු, නව යුගයක සන්දර්භය තුලය.
ජාතික විමුක්ති ව්‍යාපාරයක්
ලෙස
මෙම සමස්ත ඉතිහාසය දෙස
බලන විට, ජවිපෙ පෙන්නුම් කොට තිබෙන සුවිශේෂී ගුණාංගයක් වන්නේ දේශපාලන ව්‍යාපාරයක්
ලෙස එය දක්වා තිබෙන නම්‍යශීලීභාවය, ප්‍රත්‍යස්ථ ගුණය (resilience) සහ ඔරොත්තු දීමේ
හැකියාවයි. 1965 දී ජවිපෙ නිර්මාණය වූයේ වෙනස් ලෝක යථාර්තයක් තුලය. දෙවැනි ලෝක
යුද්ධයෙන් පසුව බටහිර රටවල් විසින් පවත්වාගෙන ගිය අධිරාජ්‍යයන් බිඳ වැටී, ලංකාව
බඳු තුන්වන ලෝකයේ රටවල් වෙත දේශපාලන නිදහස ලැබී තිබුණි. එහෙත් මෙම දේශපාලන නිදහස
තථ්‍ය නිදහසකට වඩා අසම්පූර්ණ එකක් විය. මන්ද යත්, ආර්ථික වශයෙන් ලෝකයේ පැවැති යටත්
විජිත ග්‍රහණය වෙනස් වී නොතිබූ නිසාය. මෙම තත්වය නව යටත් විජිතවාදය ලෙස හැඳින්විණ.
නව යටත් විජිතවාදයට
එරෙහිව තෙවන ලොව රටවල විමුක්ති අරගල ඇති වීම එකල පොදුවේ දක්නට ලැබුණු ලක්ෂණයකි.
ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ රටවල් ගණනාවක මෙබඳු විමුක්ති අරගල ඇති වූ
අතර එබඳු බොහෝ ව්‍යාපාරවල වාමවාදී නැඹුරුවක් දක්නට ලැබුණි. මීට හේතුව වූයේ මේ බොහෝ
රටවල ස්වදේශික ප්‍රභූ නායකයන් නව යටත්විජිතවාදයට ගැති පිලිවෙතක් අනුගමනය
කිරීමත්, එම නිසා විමුක්ති ව්‍යාපාර සමාජයේ පොදු ජන පන්තීන්ගේ සහභාගීත්වයෙන්
ඇති වීමත් නිසාය.
තවද මෙම ජාතික විමුක්ති
ව්‍යාපාරවලට සෝවියට් සංගමයේ ආධාරය ලැබුණි. ෆිදෙල් කැස්ත්‍රෝ, හෝ චි මිං, ඩැනියෙල්
ඔර්ටේගා බඳු නායකයන් වගේම අප්‍රිකානු ජාතික කොංග්‍රසය, පලස්තීන විමුක්ති සංවිධානය
බඳු ව්‍යාපාර අඩු වැඩි වශයෙන් වාමවාදී අදහස් වෙත නැඹුරු වීම කෙරෙහි සෝවියට්
රුසියාව දක්වන ලද මෙම අනුග්‍රහය ද
හේතුවිය. බොහෝ අවස්ථාවල මෙබඳු ව්‍යාපාර සන්නද්ධ අරගලයේ ස්වරූපයෙන් ක්‍රියාත්මක
විය.
මේ අනුව ජවිපෙ යනු
අහම්බයක් නොව, එවකට පැවැති ලෝක දේශපාලන යථාර්තය තුල බොහෝ පශ්චාත් යටත් විජිත රටවල
දක්නට ලැබුණු ප්‍රවණතාවයක ලාංකීය ප්‍රකාශමාන වීම ලෙස සැලකිය හැක. අධිරාජ්‍ය
විරෝධය, ජාතික විමුක්තිය සහ සමාජවාදය යන අදහස්වල සම්මිශ්‍රණයක් ලෙස අපට මෙම යුගයේ
ජවිපෙ දේශපාලන කතිකාව හඳුනාගත හැක.
මැතිවරණ දේශපාලනය
1990 දී සෝවියට් සංගමය
බිඳ වැටීමත් සමග ලෝකයේ නිර්මාණය වූයේ අලුත් තත්වයකි. දෛවෝපගත ලෙස, සෝවියට් සංගමය
බිඳ වැටීම ජවිපෙ විසින් නායකත්වය දුන් දෙවැනි සන්නද්ධ අරගලය විනාශයට පත්වීම සමග
සමපාත වේ. මේ අනුව 1994 දී මහ මැතිවරණයට තරග කරමින් ජවිපෙ යලි ප්‍රසිද්ධ දේශපාලනයට
එන විට පිටිය බොහෝ සෙයින් වෙනස් වී තිබුණි. එක් අතෙකින් අප වැනි රටවල
සමාජ ප්‍රතිසංස්කරණය අපේක්ෂා කළ සටන්කාමීන් වෙත අපේක්ෂා දැල් වූ ලෝක
සමාජවාදී කඳවුර බිඳ වැටී තිබුණි. අනෙක් අතට, දේශපාලනය කිරීමේ මාදිලියක් ලෙස
සන්නද්ධ අරගලය යන්න යල් පැන ගොස් තිබුණි.
වාමවාදී බලවේගයක් ලෙස මෙම
නව තත්වයට ජවිපෙ හැඩ ගැසුණු ආකාරය මා ඉහත සඳහන් කළ නම්‍යශීලී හා ප්‍රත්‍යස්ථ ගුණය
සම්බන්ධ හොඳම උදාහරණය වෙයි. මැතිවරණ ඔස්සේ ක්‍රියාත්මක වන, ප්‍රජාතන්ත්‍රවාදී
දේශපාලනය සන්නද්ධ දේශපාලනයට වඩා හාත්පසින් වෙනස්ය. එක් අතෙකින්, මැතිවරණ බඳු
අවස්ථාවල රාජ්‍ය බලය, මාධ්‍ය බලය, මුදල් බලය වැනි සාධක විසින් වැදගත් වැඩ කොටසක්
ඉටු කරයි. මෙම සාධක යහමින් තිබෙන ප්‍රභූ පන්තියට අයිති පක්ෂ සමග තරග කිරීම පොදුජන
පන්තීන්ගෙන් පැවත එන පක්ෂවලට අසීරු කාර්යයකි.
අනෙක් අතට, මහජන දේශපාලනය
තුල ජයග්‍රහණය කිරීමට නම් පොදු ජන මනසට කථා කල යුතුය, පොදු ජනයා අතර තහවුරු විය
යුතුය. ලංකාව බඳු ද්වි පක්ෂ ක්‍රමය දැඩි ලෙස මුල් බැස ගත් රටක, මෙය සරල කටයුත්තක්
නොවේ.
1994ට පසු ජවිපෙ ඉතිහාසය
යනු මෙම දුෂ්කර කර්තව්‍යය ජය ගැනීම සඳහා ගත් විවිධ උත්සාහයන්ගෙන් සමන්විත වූ එකකි.
ජවිපෙ අබියස වූ පලමු අභියෝගය වූයේ ලෝක සමාජවාදී කඳවුර නොමැති යථාර්තයක, සිය
දේශපාලන පණිවුඩය යලි ප්‍රවේශම් සහගත ලෙස සූත්‍රගත කිරීමය. මෙරට වූ වමේ පක්ෂ
අටෝරාසියක් අතරින් 1990 දශකය තරණය කොට, විසි එක් වන සියවසට පිවිසියේ පක්ෂ අල්ප ප්‍රමාණයකි.
වික්‍රමබාහු කරුණාරත්නගේ නව සමසමාජ පක්ෂය මේ අතර ප්‍රමුඛ වෙයි. එම පක්ෂ නව යුගය
තුල ද කළේ පරණ දේශපාලනයයි.
ජනතාවාදී ආමන්ත්‍රණය
එහෙත් නව තත්වයන් තුල නව
දේශපාලනයකට මුල පිරීමේ ඉව ජවිපෙ වෙත පැවතුණි. මේ සඳහා ඔවුන් යොදාගත් උපාය මාර්ගය
වූයේ පළල් බහුජන ශ්‍රේණීන් වෙත ලගාවීම සඳහා පොදුජන පරිකල්පනය සමග අනන්‍ය විය හැකි
ජනතාවාදී කතිකාවක් යොදාගැනීමය. (මෙම ලක්ෂණය මුල්කාලීන ජවිපෙ වෙතද විය; එම නැඹුරුව වඩාත්
ප්‍රකටව පෙනේනට පටන් ගන්නේ 1990 ගණන්වලින් පසුවය).
මෙම පොදුජන ආමන්ත්‍රණය
එක් එක් යුගවල වෙනස් ආකාර ගත්තේය. 1994 යලි දේශපාලනය පටන් ගත් විට, ජවිපෙ විසින්
ප්‍රසිද්ධ කළ එක් දේශපාලන අදහසක් වූයේ ‘උනුත් එකයි - මුනුත් එකයි’ නම් ප්‍රවාදයයි.
මෙම ප්‍රවාදය බොහොම සූක්ෂම එකකි ; එක් අතෙකින් ඉන් ප්‍රධාන පක්ෂ දෙකම එකම සමාජ පැලැන්තියක අභිලාෂ මිස පොදු
ජනයා නියෝජනය නොකරයි යන දේශපාලන පණිවුඩයද, අනෙක් අතින් මේ පක්ෂ දෙකම අන්ත දූෂිත
බවට වූ පණිවුඩය ද නියෝජනය කළේය.
2000 දශකයේ යම් කාලයකට,
ජවිපෙ බෙදුම්වාදයට එරෙහි වීම යන්න සිය ජනප්‍රිය සංවාද භාෂාව ලෙස යොදාගත් අතර,
2010ට පසුව යලිත් ‘උනුත් එකයි - මුනුත් එකයි’ සාකච්ඡාව වෙත ගමන් කරන
ආකාරය දැකගත හැක. මෙය හුදෙක් වංචා දූෂණවලට එරෙහි කථාබහකට එහා ගිය ගැඹුරු ප්‍රජාතන්ත්‍රීය
අර්ථයක් සහිත වූ අදහසකි. ජනතා නියෝජිතයන් ජනතාවට වග නොවීම, දේශපාලන ප්‍රභූ තන්ත්‍රය
සහ ජනතාව අතර විශාල පරතරයක් ඇති වීම පිලිබඳ ජනතාව අතර වූ අතෘප්තිය සංවිධානය කිරීම
මෙම ආමන්ත්‍රණයේ අරමුණ විය.
මහජන නියෝජිතයා සහ මහජනයා
අතර සම්බන්ධය, මහජනයාට වග කියන ලෙස යලි පිහිටුවීම වෙත ඉලක්කගත වූ මෙම ආමන්ත්‍රණය
රැඩිකල් ප්‍රජාතාන්ත්‍රීය ලක්ෂණ දරන්නක් විය.
මින් අදහස් වන්නේ
සමාජවාදය පිලිබඳ අදහස ජවිපෙ විසින් අත්හළ බව නොවේ. ඔවුන් සිදු කළේ සමාජ සාධාරණත්වය
පිලිබඳ අදහස පලල් ජනතාවකට සංවේදී, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ප්‍රශ්නයක් සමග සහසම්බන්ධ
කිරීමය. මෙම සහසම්බන්ධය සමග විසි එක් වන සියවසේ තත්වයන්ට අනුරූපී වූ නවීන වාමාංශික
ව්‍යාපාරයක් ලෙස හැඩ ගැසීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි විය.
කෙසේ වුවද, මෙම සියලු
යුගවල ජවිපෙ වෙත දක්නට ලැබුණු එක් පොදු ගතිකයක් ද ඇත. එය නම්, එය විසින් අනුගමනය
කළ සංවිධාන රටාව හා එම සංවිධාන රටාව විසින් හික්මවන ලද සාමාජිකත්වයක පැවැත්මයි.
පරාර්ථකාමය, දැඩි විනය, ආටෝපයෙන් තොරවීම, අදූෂිතභාවය ආදී වූ ලක්ෂණ ජවිපෙ දේශපාලන
සංස්කෘතියේ අංග බවට පත්වූයේ මෙන්න මේ සංවිධාන රටාව නිසාය. සංවිධාන තලයේ ජවිපෙ
පවත්වා ගන්ට සමත් වූ එම ආදර්ශමත් චර්යාව නොවී නම්, කවර උපාය මාර්ගයක් අනුගමනය
කළත්, පසුගිය කාලයේ එය ලද සාර්ථකත්වය සමහර විට නොලබන්නට ඉඩ තිබුණි.
වසර හැටකට පසුව මේ වනවිට
ජවිපෙ යම් සන්ධිස්ථානයක් වෙත පැමිණ තිබේ. මෙතෙක් කල් සිදුකල විරෝධතා දේශපාලනය
වෙනුවට, ගොඩගැනීමේ දේශපාලනයකට — ආණ්ඩුකරනයට අත ගැසීමට ජවිපෙට සිදුව තිබේ. 2024 සැප්තැම්බර් ජනාධිපතිවරණයේ
දී මෙරට පොදු ජනතාව ජාතික ජන බලවේගය වෙත ජනවරමක් ලබා දුන්නේ මහත් අපේක්ෂා සහිතව බව
නොරහසකි. බලය සඳහා වූ ගමන තුල ජවිපෙ විසින් දැක් වූ ප්‍රත්‍යස්ථතා ගුණය සහ ප්‍රබල
සංවිධාන විනය දිගටම පවත්වා ගැනීමට හැකි වේද යන්න මත මෙම ජනතා අපේක්ෂාවලට සාධාරණය
ඉටු වේද නැද්ද යන්න විශාල වශයෙන් රැඳී පවත්නා බව කිව යුතුය.
12-05-2025
Comments
Post a Comment